Tuesday, January 2, 2018

ඔබ අා පසු


උදෑසන හිරු එලිය
දම් පාට හැන්දෑව
රන් කිරණ වෙස් අරන්
තේක්ක ගස් අතු පතර
රන් පතින් සැරසුවේ
ඔඛ අා පසුයි.

වැරදිලා අා මගක
හති වැටුනු ජීවිතේ
අාපසු හැරෙන්නට
සැරසුණුම මොහොතේ
ඔබ අැවිත් නැවතුනා
මගෙ නෙතේ.

හමුවීම අපේ අහම්බයක්ද
නැතිනම් මේ ඉරණමද
කවුද මට පහදන්නේ
මොකද ඔබ නෑ මේ කිසිත් දන්නේ

ජීවිතේ කිසිදාක නොලැබුනු
ලැබුනු හැම විටකම අත හැරුනු
හැමදාම හැම තැනම හොය හොයා වෙහෙසුණු
අාදරේ....
ඔව් ඒ අාදරේමයි
නොසිතූ දිනක නොපැතූ ලෙසක
ඔබෙ නෙතේ දැක මා
අසරණ වුනේ

ඒත් කොහොමද මම
ඔබට මෙය පහදන්නේ
තනිව ගෙවුවද ජීවිතේ සොඳුරුම වසන්තය
වරම් නැහැ මට ලං වන්න
අන් සතුයි ඔබ මිතුරියේ

නිරතුරුව කවුළුව තුලින් ඔබව දකිමි
මැදියමේ අැහැරී ඔබ ගැනම සිතමී
අයිතියක් නැති වුනත්
වත පුරා විසිරෙන රන් සිනා පිරි
ඔබේ මුව සිහිනයෙන් සිඹිමී

මග තොටදි හමුවී කේරුවත් සුහදව කතා
ඔබ තව නැතිද දුටුවේ
මගෙ නෙතේ දිදුලන
ගොළු වුනු අාදරයක දුක් කතා......

Sunday, July 12, 2015

මග හැරුනු තැන්


වම් පස කුණු කානුවේ
බල්ලන් පැහැරූ තැනම
බක්කියේ පාන් කෑලි අහුලන
සැරව ගලන තුවාලැති
දුප්පත් හිඟන්නා

දකුණු පස මාවතේ
තාර ගැලවෙන වේගයෙන් විත්
මා ළඟ නැවතුනු හයිබ්‍රිඩ් කාරයෙන්
එබී බැලුවා සිනාසී
නටාෂා

එදා මං ආපහු එනකොට හුඟාක් රෑ වුනා

දුම්වැටිය ගෙවිලා කටත් පිච්චුනු මට
මග ඇරුනේ බස් එක විතරමද...

Tuesday, June 30, 2015

මේ ඔබම ද


කී වරක් ඔබ දෙස බලන්නද
කී වරක් ඒ ගැන හිතන්නද
හිත අහනන්නේ එකම පැනයයි
ඒ ඔබමද
ඒ ඔබමද

වෙන්න බෑ මේ ඔබ නොවේම යි
ඒත් ඇස් දෙක සියක් වරයක්
ඇදී යන්නේ ඒ දිහාම යි

අකීකරු ඇස්
හොයනවා සලකුනු නිහඬවම
ඊටත් එහා යන හිත
මවනවා අතීතය ඇස් ඉදිරියේ

ආයේ කවදා නම් දකින්නද
මේ තරම් වත් ගතින් ලංවී
ඇත්තටම මේ ඔබ නොවේම යි

ඒත් ඇත්තට මේ ඔබ වුනානම්....



Monday, June 29, 2015

යලි පැරදුනු නුඹ (අවසන් වරට)


අහස රත් පැහැ සිතුවමින්
සරසද්දි මල හිරු ඇවිත්
අඳුර පිරි නිහැඬියාව
බින්දා එකම එක වෙඩි හඬක්

කියන්නට නොහැකිව
සිත තුලම සිරවූ
නුඹෙ සුසුමේ උණුසුම
ලුණු මිශු මුහුදු සුළඟට
මුසු කලේ මොන හිතකින්ද

මුහුද අද්දර නැංගුරම් ලා තිබූ
කාටදෝ අයිති ඔ‍රුවක
සමු අරන් තිබුනා ඔබ සදහටම

කාටවත් රිදුන‍ෙ නෑ
කවුරුවත් ඇඬුව‍ෙ නෑ
කුහුල දනවන පුවත් මැවුනා පමණයි

Friday, June 26, 2015

මුතු පලඳනාව


නොනැවතී ඔබ යන්න
මා දිහා නොබලා
හරියට වරදක් කලා සේ මා
ඒකට කමක් නෑ

හිත හදාගන්න
මං කියපු හැමදේම අද රස කතාවන්
ඔබ‍ෙ මිතුරියන් අතර

ඒත් මතකද කඳුලු පිරි දෑසින් ඔබ මට කී කතා
උරහිසේ මුව තියාගෙන
ඒවා අදටත් රහස් මගෙ හදවතේ හැංගුන

ඒ ඔක්කොමත් හරි
ඒත් මට තේරුම් ගන්නම බැරි
එක දෙයක් තියෙනවා

ඔබ හුඟාක් ආස කල
මා දුන්නු මුතු පලඳනාව
තාමත් අතේ ඇයි

Monday, June 22, 2015

ඔබ කොහෙද


පනටත් වඩා ආදරෙයි
සත්තයි හැමදාමත්

ඈ කනට කෙඳුරුවත් ඔහුගේ
කවුලුව අසල අසුනේ හිඳ
මහා ගෝට්ටිය මැද නගරේ
ඇසුනා මටත් ඒ හඬ

රිය සෙමින් ඇදුනා වැහි අඳුර මැද්දේ
මඩ වතුර ඉහිරමින්
මග දෙපස
ඒ අවසරෙන් සීතලට කිටි කිටියේ
තෙරපුනා ඒ දෙඅත

වැහි බිංදු බේරෙන
වීදුරුව අස්සෙන් මං ගියා අතීතෙට
ඒ අසුනෙම අනිත් කෙලවරේ හිඳ

අප උන් හිටි තැනක්වත්
නෑ දැන් හොයා ගන්න
ඒ්ත් එකම වදනක්
ඔබ මට කියූ එකම එක වදනක්
තෙරපෙනවා හදේ අදටත්

ආදරෙයි රත්තරං
සත්තයි හැමදාමත්

ඒත් අද ඔබ කොහෙද

Wednesday, June 10, 2015

මගේ සිතුවිලි

මේ මාගේ සිතුවිලි ගැන ය.
ඒවා බොහෝ විට කිසිම කමකට නැති ඒවා ය.
මා එය දැන ගත්තේ බොහෝ දෙනා බොහෝ වාරයක් මට එසේ පවසා ඇති නිසා ය.
මා සිතා සිටියේ මම ඉතා උසස් සිතුවිලි ඇති පොරක් බව ය. (දැන් ප්‍රසිද්ධියේ ‍කීමට බිය වුවද මට තවමත් එසේ සිතෙයි)
එනිසාම මම මට සිතෙන දේ ‍නොපැකිලව කියන්නට කරන්නට පුරුදු වී සිටියෙමි.
එහෙත් දැන් ඒසේ කියන්නට කරන්නට මදක් අදිමදි කරමි.
නොකියාම බැරි තැන දෙතුන් වරක් සිතා බලා කියන්නට උත්සහා කරමි.
ඉතා විශ්වාසවන්තම මිතුරකුගෙන් අසා ඇතැම් දේ කියමි.
ඒහෙත් බොහෝ විට ඊට ලැබෙන පිලිතුර නම් "පිස්සුද බං උඹට" යන්නමය.

එහෙත් මට මෙය ඉතා අපහසු කරුණකි.
මන්ද නිතරම මේ කරුණ අමතක වී කටට ආ දේ ඔහේ කියවෙන බැවිනි.
එමගින් මහත් අපහසු තාවයන්ට ද පත් වේ.

මගේ සැබෑ සිතුවිලි අන් අයට කියන්නට මම ඉතා ආසා කරමි.
අනෙක් මිනිසුන්ද එසේ යැයි මට සිතේ (ගැහැණුන් ද ඇතුලුව)
සිතට එන දේ සංස්කරණයකින් තොරව කියන්නට නිදහසක් ඇත්නම් කෙතරම් අපූරුද.
ඒක ඇත්තටම නරක ආසාවක් යැයි මම නොසිතමි.
එහෙත් මේ සිදුවන දේ එය මහා නරක දෙයකැයි සිතන්නට මා පොළඹවන තරම් ය.

මේ තත්වය පහදන්නට බොහෝ උදාහරණ ඇත.
ඒවා බොහෝ සරල ඒවාය.
ඒවා සරල වන තරමට ම මේ පැනය මට වද දෙන ප්‍රමාණය ද විශාල වේ.
දැනට ඉන් එකක් පමණක් කියමි.

අප මිතුරන් සමග විනෝද වන උත්සව අවස්ථාවකි.
ඉතා හොඳින් හඳුනන තරුණියක් එදින ඉතාමත් අලංකාරව සැරසී සිටියා ය.
ඇය කොහොමත් ලස්සන ය. (එහෙත් අප කණ්ඩායමේ සිටි කුහක පිරිමි සහ ඊරිසියා කාර ගැහැණු කිසි විටෙකත් ඒ ගැන එලිපිට කතා නොකරති)
සොබා දහම හෝ දෙවියන් ‍වහන්සේ හෝ ජෛව රසායනය විසින් හෝ ඇයව ඉතා අලංකාරව නිර්මාණය කර ඇත.
මේ ඉතා සුන්දර මොහොතකි.
මිහිරි සංගීතය දෙසවන පිනයි.
මධු විත බිඳක් අමුතුම ‍‍ලොවක ට අප කැඳවා යන්නට සැරසෙන හෝරාවකි. (බේබද්දන් සේ වෙරි වී නොමැත)
ඇයද අප අසලම දැව‍ටේ.
ඒ අපේ සුහදත්වය නිසා ය.
කුළුපගව කතා බහ කරයි.
සිත වශී වන සේ මුදු සිනා සලයි.
ඇගේ අත ගෙන ආදරණිය රංගනයක යෙදෙන්නට ඇත්නම්. (බොහෝ අයට ඇතිවු සිතුවිල්ලකි)
මම මේ සියල්ල සිතින් විඳිමි.
ඒ උතුරා යන සුන්දරත්වය දරා ගන්නට නොහැකි තරම් ය.

ඔයා අද හරි ලස්සනයි, මම ඇයට කීවෙමි.
ඒ බැරිම තැනය.
ඇය සතුටින් සිනාසී තෑන්ක්ස් අනේ කීවා ය.
ෂැල් වී ඩෑන්ස් ඇය අසයි.
මයි ‍ප්ලෙෂර් මට කියවෙන්නේ නිරායාසයෙනි.
සුළු මොහොතකින් මා අතින් අල්ලා ගෙන ඈ අමුතුම ලොවකට කැඳවා ගෙන යයි.
ඈ ඉඟ සුඟ නලවන්නේ ‍සුරඟනක ලෙසින් ය.
සියළු නෙත් ඈ වෙතය.
ඇය ඇත්තටම ලස්සන ය (මෙය නැවත නොකියා ම බැරිය)
ඇයට මෙන් මට රංගනය බැරිය.
එහෙත් මට සංගීතයට අනුව අත පය වන වනා ප්‍රීති වන්නට පුළුවන.
එය සිතට ගෙන එන්නේ පුදුම නිදහසකි.
මා ‍රඟන්නේ මගේ සතුට ටය.
මට වුවමනා ජීවිතය විඳින්නට ය.
රාත්‍රිය තවමත් තරුණය.
සුන්දරය.

කෙමෙන් කාලය ගත වී ගියේය.
සියළු දෙනාම වාගේ දැන් සිටින්නේ අමුතුම තලයකය. (එය ඉතා හොඳ තලයකි)
අඩු තරමින් මා සිටින්නේ එවැනි තැනක බව නම් මට හොඳටම විශ්වාසය.
මෙලොව සෑම සුන්දර දෙයක්ම නිමාවට පත්විය යුතු බව යලි සිහි කරමින් සාදය නිම වේ.
මෙවන් සුන්දරත්වයකින් සමු ගන්නට බැරි තරම්ය.
සියල්ල සතුට ගෙන එන දේය.
එහෙත් දැන් ඒ සියල්ලට සමුදෙන්නට කාලය පැමිණ ඇත.

ගුඩ් නයිට් මචං
ටේක් කෙයා හනී
සීයූ ටුමාරෝ

සිප වළඳ ගැනීම් බොහෝය.
පිටට තට්ටු කිරීම් ද ඉවරයක නැත.
වෙනදා මුහුණ බලා සි‍නහා නොවන අයද එදින සිප වැළඳ ගෙන සමු ගනිති. (හොඳටම වෙරි අයට සමාව දිය හැකිය. එහෙත් එසේ නැති ගැහැණු පවා මෙලෙස හැසි‍රීම හරිම අමුතු දෙයකි.)
දැන් මමද මේ සොඳුරු ලොවට සමුදිය යුතුය
ඇයට ද සමුදිය යුතුය. (ඇය ගෙදර එක්කර ගෙන යන්නට ඇත්නම්)
අයි ‍ගට ගෝ ඩාලිං. හී ඉස් හියර්.
ඈ මට කීවාය.
ඒ වාසනාවන්තයා එලියේ කාරය නවතා ගෙන ඈ එන තුරු බලා සිටියි.
ඔකේ ඩාලිං. යු ටේක් කෙයා. යු ‍ව ඔසම් ටුනයිට්.
තෑන්ක්ස් අ ලොට්.
මට ‍බ්‍රේක් නැත.
ඔහ් යු ටු හනී. ටේක් කෙයා. සී යූ ලේට
උම්ම්මා....
එය නොකරම බැරිය.
මෙතරම් සුන්දර රාත්‍රියක්.. මෙතරම් කුළුපග කමක්.
සමුගන්නා මොහොතේ සිප වැළඳ නොගෙන කෙසේ නම් සමු දෙන්නද.
උම්මා... සී යූ ලේටර්.

මේ සියල්ල දෙස නෙත් දල්වා බලා සිටින පිරිසකි.
මට ඒ ගැන නිනව්වක් නැත.
ඈ සමගම ඇ‍‍‍ඟේ ගෑවී නොගෑවී පිටත රත ගාල වෙත පැමිණියෙමි.
ගුඩ් නයිට්
ගු‍‍ඩ් නයිට් ‍ඩාලිං
හම්......
දැන් සියල්ල අවසන්ය.
මා මිතුරන් සියල්ල රත ගාලේ එක් පසෙකට ‍වී මා දෙස බලා සිටියි.
ඒ බැල්ම ඒ තරම් හොඳ නැත.
ආහ් මචං හරිද.. කට්ටියම ආවද.. යමු නේද..
කාගෙන් වත් පිලිතුරු නැත.
මා ක්‍රමයෙන් මිතුරන්ට ලං වුනෙමි.
මොකෝ බං.. මොකෝ උඹලා නිකං..

එහෙත් ඉන් පසු සිදු වූයේ මා කිසි විටෙකත් නොසිතූ දෙයකි.

පිස්සුද බං
උඹට ලැජ්ජ නැද්ද බං
ආපෝ... කාඩ් කුඩු
ඔය කට හිංද තමයි තොට කවද හරි කෙලවෙන්නේ
උඹට නං ලැජ්ජාව කියන එක ගෑවිලා වත් නෑ
හර‍කෝ තෝ බැඳලා නේද
තෝ නං කවදාවත් හැදෙන්නෑ
‍‍චාටර් ඕයි.
අපිටත් ලැජ්ජයි බං
ඒකිගෙ කොල්ලට ඇහුන නං
අරූ දැක්කනං ඇතුලේ සීන්

ඇයි බං මං මොනාද කලේ...
ඇයි යකෝ අර ඇඹළයෙක් වගේ අරකිත් එක්ක පැණී හල හල නැටුව එකම මදිද.
ඒ එකෙකි.
ඇයි.. ඔයා අද හරි ලස්සනයි.
ඒ තව එ‍කෙකි.
‍කොහොමද කපල් එක කා පාක් එකට ආපු හැටි.

බලලා මල්ලෙන් එලියට පැන්නේය.
ඛේදාන්තය කි.
එහෙත් මට නොතේරෙන එකකි.

ඇය ලස්සන ය.
මම එය ඇයට කීවෙමි.
ඇය ඉන් සතුටට පත් විය.
සතුටින් අතගෙන රැඟුමක් පෑවාය.
සිත් සේ විනෝද ‍වී සතුටින් කාලය ගත කලෙමු. (සාදයේ අරමුණ එය නොවේද)
සිප වළඳ ගෙන සමු ගත්තෙමි.
නොහොබිනා යැයි කිව‍ හැකි කිසිවක් සිදු නොවී ය.

එහෙනං ‍බලං ඉන්න තොපිට මොන අමාරුවක් ද යකුනේ........!
‍යකෝ... ලස්සනට ලස්සනයි නොකියා වෙන අහවල් එකක් කියන්නද.
ඒකි ගේ කොල්ලා දැකක නම් ඉතිං මොනව වෙන්නද.... හරි එකෙක් නං ඌත් මට තෑන්ක්ස් ‍‍ෆෝ ගිවින් අ ගුඩ් ටයිම් ඇන ‍ටේකිං කෙයා ඔ‍ෆ් හ.... කියනු ඇත. (කුහකයකු නොවේ නම් පමණි)
ඇයි යකෝ මං බැඳලා කියල මොකෝ මගේ මොලේ මොනා හරි නහරයක් ගලවල දාලද...
අනික මං මෙතන ඒකි එක්ක බුදිය ගත්තද.
මෙතක ඩාන්ස් කරා කියල මං මගේ ගෑනිට ආද‍රේ නැති වෙනවද.
නැත්තං ඒකිට දෙන්න ‍තියෙන වෙන මොනා හරි මේකිට දෙනවද.
මට නෙමෙයි බං තොපිට තමයි පිස්සු.
යකෝ මේක පාටියක් නේද
අනික ඒකිටයි මටයි හොඳ නං තොපිට ඇති අමාරුව මොකක්ද.
තොපේ කුහක කම.
චික් විතරක්.
තොපි වගේ යාළුවෝ..
මට වෙරි නිසා බ්‍රේක් නැත (‍සොරි මචංලා)

දැන් වෙරි නැත. (හොඳ සිහියෙන් ලියමි)
මට ‍‍තවමත් නොතේරෙන දේ මෙයයි.
මම නරක වචනයක් නොකීවෙමි.
නරක දෙයක් හෝ ඇගේ අඩුපාඩුවක් හෝ නොකීවෙමි.
ඇය අපහසු තාවයට පත් වන අයුරින් කිසිවක් නොකලෙමි.
එසේ කලා නම් ඇගේ සිත රිදවූවා යැයි මට චෝදනා කිරීම සාධාරණ ය.
ඇය ඇත්තටම ලස්සන බව එතන සිටි සැවොම අවිවාදයෙන් පිලි ගනු ඇත.
ඔවුන් ද එසේ සිතන්නට ඇත. (ඇතමුන් ඇය ගේ ‍දෙතොල සිප ගන්නට ඇත්නම් කියා ද සිතන්නට ඇත)
මුහුණ සිප සමුගන්නා මොහොතේ මටද එසේ නොසිතුනා නොවේ.
එහෙත් මා එය කිසිවිටකත් නොකීවෙමි.
ඒ හැඟීමද පාලනය කර ගත්තෙමි.
එයින් පැහැදිලි වන්නේ මා යම් සංයමයක් හික්මීමක් ඇති පුද්ගලයෙකු බව නොවේද.
එසේ තිබියදී ප්‍රසිද්ධියේ පැවසිය හැකි ඉතා හොඳ සුන්දර දෙයක් ඇයට පැවසීම ට ඉදිරි පත් වීම මගේ වරදක් ද.
ඇගේ කැමැත්තෙන්ම අතින් අල්ලා ගෙන රංගනයක යෙදීම වරදක්ද.
හ්ම්ම්...

මේ එක සිද්ධියක් පමණි.
මෙවැනි සිදුවීම් බොහෝ ය.
මට මේවා තේරුම් ගන්නට බැරිය, අමාරුය.
ඒ ගැන සිතනා විට සිතද රිදුම් දේ.

කරුණා කර මේ ගැන දන්නා කෙනෙක් තේරුම් කර දෙන්නේ නම් ‍පිං ය.