Sunday, July 12, 2015

මග හැරුනු තැන්


වම් පස කුණු කානුවේ
බල්ලන් පැහැරූ තැනම
බක්කියේ පාන් කෑලි අහුලන
සැරව ගලන තුවාලැති
දුප්පත් හිඟන්නා

දකුණු පස මාවතේ
තාර ගැලවෙන වේගයෙන් විත්
මා ළඟ නැවතුනු හයිබ්‍රිඩ් කාරයෙන්
එබී බැලුවා සිනාසී
නටාෂා

එදා මං ආපහු එනකොට හුඟාක් රෑ වුනා

දුම්වැටිය ගෙවිලා කටත් පිච්චුනු මට
මග ඇරුනේ බස් එක විතරමද...

Tuesday, June 30, 2015

මේ ඔබම ද


කී වරක් ඔබ දෙස බලන්නද
කී වරක් ඒ ගැන හිතන්නද
හිත අහනන්නේ එකම පැනයයි
ඒ ඔබමද
ඒ ඔබමද

වෙන්න බෑ මේ ඔබ නොවේම යි
ඒත් ඇස් දෙක සියක් වරයක්
ඇදී යන්නේ ඒ දිහාම යි

අකීකරු ඇස්
හොයනවා සලකුනු නිහඬවම
ඊටත් එහා යන හිත
මවනවා අතීතය ඇස් ඉදිරියේ

ආයේ කවදා නම් දකින්නද
මේ තරම් වත් ගතින් ලංවී
ඇත්තටම මේ ඔබ නොවේම යි

ඒත් ඇත්තට මේ ඔබ වුනානම්....



Monday, June 29, 2015

යලි පැරදුනු නුඹ (අවසන් වරට)


අහස රත් පැහැ සිතුවමින්
සරසද්දි මල හිරු ඇවිත්
අඳුර පිරි නිහැඬියාව
බින්දා එකම එක වෙඩි හඬක්

කියන්නට නොහැකිව
සිත තුලම සිරවූ
නුඹෙ සුසුමේ උණුසුම
ලුණු මිශු මුහුදු සුළඟට
මුසු කලේ මොන හිතකින්ද

මුහුද අද්දර නැංගුරම් ලා තිබූ
කාටදෝ අයිති ඔ‍රුවක
සමු අරන් තිබුනා ඔබ සදහටම

කාටවත් රිදුන‍ෙ නෑ
කවුරුවත් ඇඬුව‍ෙ නෑ
කුහුල දනවන පුවත් මැවුනා පමණයි

Friday, June 26, 2015

මුතු පලඳනාව


නොනැවතී ඔබ යන්න
මා දිහා නොබලා
හරියට වරදක් කලා සේ මා
ඒකට කමක් නෑ

හිත හදාගන්න
මං කියපු හැමදේම අද රස කතාවන්
ඔබ‍ෙ මිතුරියන් අතර

ඒත් මතකද කඳුලු පිරි දෑසින් ඔබ මට කී කතා
උරහිසේ මුව තියාගෙන
ඒවා අදටත් රහස් මගෙ හදවතේ හැංගුන

ඒ ඔක්කොමත් හරි
ඒත් මට තේරුම් ගන්නම බැරි
එක දෙයක් තියෙනවා

ඔබ හුඟාක් ආස කල
මා දුන්නු මුතු පලඳනාව
තාමත් අතේ ඇයි

Monday, June 22, 2015

ඔබ කොහෙද


පනටත් වඩා ආදරෙයි
සත්තයි හැමදාමත්

ඈ කනට කෙඳුරුවත් ඔහුගේ
කවුලුව අසල අසුනේ හිඳ
මහා ගෝට්ටිය මැද නගරේ
ඇසුනා මටත් ඒ හඬ

රිය සෙමින් ඇදුනා වැහි අඳුර මැද්දේ
මඩ වතුර ඉහිරමින්
මග දෙපස
ඒ අවසරෙන් සීතලට කිටි කිටියේ
තෙරපුනා ඒ දෙඅත

වැහි බිංදු බේරෙන
වීදුරුව අස්සෙන් මං ගියා අතීතෙට
ඒ අසුනෙම අනිත් කෙලවරේ හිඳ

අප උන් හිටි තැනක්වත්
නෑ දැන් හොයා ගන්න
ඒ්ත් එකම වදනක්
ඔබ මට කියූ එකම එක වදනක්
තෙරපෙනවා හදේ අදටත්

ආදරෙයි රත්තරං
සත්තයි හැමදාමත්

ඒත් අද ඔබ කොහෙද

Thursday, May 21, 2015

සූරියා ගේ දිනපොත

මේ සූරියා ගේ දිනපොත. මේකෙ තියෙන්නෙ සූරියා විසින් ලියනු ලබන දේවල්.
හැබැයි සුරියා හිතෙන හැමදේම මේකේ ලියන්නෙත් නැහැ. 
සුරියා තදින්ම විශ්වාස කරන දෙයක් තමයි මේ ලෝකයේ කියූ සහ ලියූ සියල්ලට වඩා නොකියූ සහ නොලියූ දේවල් බොහෝ වැඩියි කියන එක. මේ කතාව කිව්වේ කවුද කියල නම් සූරියා ට මතක නැහැ.

වක්කඩ කැඩුව වගේ ගලා ගෙන එන සිතිවිලි වලින් ටිකක් හරි තවත් කවුරු හරි කියවල දැන ගන්න එක හොඳයි කියන සූරියා ගේ සිතුවිල්ලත්, ඟම මිතුරකුගෙන් ලද දිරි ගැන්වීමෙත් ප්‍රථිඵලය ‍තමයි මේ විදියට බ්ලොග් සටහනක් ‍වුනේ.